මිහිඳු මා හිමි හෙළ බිමට වැඩම කොට සම්බුදු සසුන පිහිට වූ දා පටන් ගමක් ගමක් පාසා ඉදිවු බොදු ආරාම, ගම හෙළි කල හිරු බඳු විය. අපේ පන්සල වූ මේ පුදබිම හෙළ දන මන පොබයන ගුරුබිමද විය. ලොව්තුරා රස මුසු ගුණ නැණ ඵල බෙදාදුන් මේ අරමෙහි වැඩ සිටි මහ සඟරුවන අපේ ගුරු දේවතාවෝය.
උන්වහන්සේ යා යුතු නිසි මඟ අපට කියා දුන්හ. එහෙයින් ඔවුහු අතරමං නොවුහ. නිවී සැනසුනු සිතැත්තෝ වුහ. පොදු ජන දුක නිවන කෙත සරු කරන දියවර සපයන වැව ඉහත්තාවේ සුදෝ සුදුවට දිදුළන දාගැබ ඔවුන්ගේ පහන් සිත්වල සලකුණ විය.
සැදැහැයෙන් දහස් ගණන් කුල දරුවෝ සසුන් කෙත සරු කරමින් රට දැය සමය දිවි හිමියෙන් රැක ගත්හ. ජනතාවද ඒ සඳහා පෙළඹ වූහ. පරදේශක්කාරයින්ට ඔවුන් සිතූ ලෙස මෙරට හප කරන්නට නොහැකි වුයේ
එහෙයිනි.
මහත් බැතියෙන් දන විසින් පුද ලද මහ සඟරුවන සිප්සතර හා සඳහම් බෙදාදෙමින් ඔවුන් බල ගැන්වූහ. හෙළ සිරිත් විරිත් සාහිත්‍ය කලා රටේ පාලනය, ආර්ථිකය මේ සියල්ල බුදු දහමට අනුකූල විය.
පසු කලෙක මෙරට ගිලගත් බටහිර බලවේග මේ රන් වැට තැනින් තැන දෙදරවන ලදී. නිළතල බලතලවලට ලොබවු ඇතැම් ගිහියෝ අප සිරිත් විරිත් පසෙකලා පරගැති වූහ. එහෙත් මහ සඟරුවන පෙරටු කරගත් උතුම් මිනිසුන් දිවි පරදුවට තබා අප රට දැය සමය සුරැකීමට පෙරමුණ ගන්නා ලදී.
කුඩාපොල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වාරියපොල සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහා තෙරණුවරු මෙන්ම අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි ගිහි උතුමන්ද එහිලා පෙරමුණ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට නැවත බොදු පුබුදුව ඇති විය. දහම් පාසල් හා බෞද්ධ පාසල් බිහි කෙරිනි.
ඒ උතුමන්ගේ උතුම් අරමුණ සපුරාලනු වස් ගුණ නැණ සපිරි අනාගත පරපුරක් දහම් පාසල් තුලින් බිහි කිරීම සියළු දහම් පාසල් ගුරුවරුන්ගේ වගකීම වේ
අප අත්තරගම ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ දූ දරුවන්ද එබඳු පසුබිමක හදාවඩන්නට අපි උත්සුක වෙමු. මෙම සක්‍රියාව සපුරාලීම සඳහා කැපවන අප දහම් පාසල් ගුරු මඩුල්ලට පුණ්‍යානුමෝදනාව පල කරමි. මාගේ ආශිර්වාදය
හා
දෑහිතකාමී ජනහිතකාමී සදාචාර සම්පන්න ගුණගරුක පරපුරක් අප දහම් පාසල තුලින් අනාගතය බිහි වේවායි පතමි.
පූජ්‍ය දේවහූවේ චන්දානන්ද හිමි
ප්රධානාචාර්යය
ඓතිහාසික අත්තරගම පොත්ගුල් රජමහා විහාරය මූලික කර ගෙන පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුමනතිස්ස දහම් පාසල ක්‍රි:ව: 1974.02.04 දින විහාරස්ථ ධර්ම ශාලාවේදී එසමය තුල මෙහි විහාරාධිකාරී වශයෙන් කටයුතු කළ පූජ්‍යපාද අස්ගිරියේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුදු දහමින් ඔපවත් වු උතුම් සමාජ සාරධර්මයන්ගෙන් පිරි බොදු සමාජයක් ගොඩනැගීමේ උත්තරීතර අභිප්‍රායෙන් යුක්තව අරඹන ලදී.
දහම් පාසලේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා එදා සිට වර්තමානය දක්වා සිටි සහ සිටින ගුරුභවතුන් විසින් ස්වෙඡාවෙන් ශ්‍රම දායකත්වය කැප කරන ලදී. මෙය තුලින් බිහි වු දරු දැරියන් රටේ සාමාජීය, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික යන විවිධ ක්ෂේත්රයන්හි කටයුතු කරනු ලබයි.
වර්තමානයේ සුමනතිස්ස දහම් පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා දරු දැරියන් 350කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර ප්‍රධානාචාර්ය හිමි ඇතුළු ආචාර්්‍යය මණ්ඩලය 21 කින් සමන්විතය.
තවද මෙම දහම් පාසලේ දරු දැරියන් ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් පවත් වනු ලබන ප්‍රාදේශීය තරග හා සමස්ථ ලංකා තරඟ තුලින් විශිෂ්ට ජයග්රහන කරා පියමං කරනු ලබයි. 2013 වර්ෂයේ පවත්වන ලද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හාරිස්පත්තුව උතුරු කොටසේ දහම් පාසල් 27 කින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමටද සමත් විය.
දහම් පාසල මගින් බලාපොරොත්තු වනු ලබන්නේ දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම මෙන්ම සදාචාර සංවර්ධනයද වර්ධනය කිරීමය. ප්‍රථම ස්ථාන ලැබීම තුලින් සුමනතිස්ස දහම් පාසල ඒ බව ලබා ඇති බව සාක්ෂි දරයි. මෙසේ දිනෙන් දින දියුණුව කරා පා තබන ශ්‍රී සුමනතිස්ස දහම් පාසල සමස්ථ ලංකාවෙන්ම හොදම දහම් පාසල බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.
ශාසනස්තිථිකාමි
විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රවේදී කිරිදිගල්ලේ සුමංගල හිමි.